YouVersion Logo
Search Icon

1 කොරින්ති 14

14
ප්‍රඥාගෝචර නමස්කාරය
1ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න. 2මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මගින් අබිරහස් පවසයි. 3එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි. 4අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි. 5ඔබ සැවොම අන්‍ය භාෂා කතා කරනවාට කැමැත්තෙමි; එහෙත් ඔබ දිවැස් වැකි පවසනවාට ඊට බොහෝ වැඩියෙන් කැමැත්තෙමි. සභාවේ අභිවෘද්ධිය පිණිස අන්‍ය භාෂා කතා කරන්නා පවසන දෑ, අන් අයට පහදා දෙන්නේ නම් මිස, දිවැස් වැකි පවසන්නා ඔහුට වඩා උතුම් ය.
6සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණ, යම් එළිදරවුවක් හෝ දැනගැන්මක් හෝ දිවැස් වැකි හෝ ඉගැන්වීමක් හෝ නො කර, අන්‍ය භාෂා කතා කළහොත්, මා ඔබට කවර සෙතක් සලසා ද? 7නළාව හෝ වීණාව වැනි අප්‍රාණික සංගීත භාණ්ඩයක් පැහැදිලි ස්වරයක් වාදන නො කෙරේ නම්, වැයෙන්නේ කවර තනුවක්දැයි කෙනකු හැඳින ගන්නේ කෙසේ ද? 8එසේ ම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬ වේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද? 9ඔබ පිළිබඳවත් එසේ ම ය; ඔබගේ දිවෙන් ඔබ තේරුම් ගත හැකි වචන කතා නො කළහොත්, කුමක් කියන්නේදැයි කෙනකු දැනගන්නේ කෙසේ ද? මන්ද ඔබ සුළඟට කතා කරනවා වැන්න. 10බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත. 11යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැති නම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි. 12ඔබ පිළිබඳවත් එසේ ම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න.
13මෙනිසා, අන්‍ය භාෂා කතා කරන්නා අරුත පහදා දීමේ වරය ද ඉල්ලා යාච්ඤා කළ යුතු ය. 14මන්ද මා අන්‍ය-භාෂාවකින් යාච්ඤා කරන කල, මගේ ආත්මය යාච්ඤා කරන නමුත්, මගේ මනසට පලක් නැත. 15මම කුමක් කරම් ද? මගේ ආත්මයෙන් යාච්ඤා කරමි; මගේ මනසින් ද යාච්ඤා කරමි. මගේ ආත්මයෙන් පැසසුම් ගී ගයමි; මගේ මනසින් ද ගී ගයමි. 16ඔබ ආත්මයෙන් ස්තුති දෙන විට කෙනකුට ඔබ කියන දේ නො වැටහේ නම්, ඔබගේ ස්තුති දීමට ඔහු ආමෙන් කියන්නේ කොහොම ද? 17ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ.
18ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි. 19එහෙත් සභාවකදී අන්‍ය-භාෂාවෙන් වචන දස දහසක් පවසනවාට වඩා, අන්‍යයන්ට උපදෙස් පිණිස, මගේ මනසින් වචන පහක් කතා කරනු කැමැත්තෙමි.
20සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධ ව බිළිඳුන් වන්න; සිතුවිලිවලින් වැඩිහිටියන් වන්න. 21ව්‍යවස්ථාවේ ලියා තිබෙන්නේ:
“අමුතු භාෂිත මිනිසුන් මගින් හා
විදෙස්සන්ගේ තොල්වලින්
මම, මේ ජනයාට කතා කරන්නෙමි,
එහෙත්, ඊට පසුත් ඔවුන් මට සවන් දෙන්නේ නැතැයි#14:21 යෙසා 28:11,12
ස්වාමින්වහන්සේ කියන සේකැ” යි
කියා ය.
22එබැවින් අන්‍ය භාෂා ඇදහිලිවතුන් උදෙසා නො ව, නො අදහන්නන්ට ලකුණකි. එහෙත් දිවැස් වැකි නො අදහන්නන්ට නො ව, ඇදහිලිවතුන් උදෙසා ය. 23සභාවේ හැම එක් රැස් ව, හැම කෙනකු ම අන්‍ය භාෂා පවසමින් සිටියදී, මේ ගැන දැනුම නො ලත් හෝ නො ඇදහිලිවතුන් එතැනට පැමිණියහොත්, ඔබ හැමගේ සිහි විකල් වෙලායි ඔවුන් නො කියා ද? 24එහෙත් ඔබ හැම දිවැස් වැකි කියන කල, නො ඇදහිලිවතකු හෝ මේ ගැන දැනුම නො ලත්තකු පැමිණියහොත්, ඒ සියල්ලෙන් ඒත්තු ගෙන, සියල්ල මගින් විනිශ්චය කරනු ලබනු ඇත. 25ඔහුගේ හදෙහි රහස් හෙළි වී, දෙවියන්වහන්සේ සැබවින් ම ඔබ අතරේ ය කියමින්, මුහුණ බිමට නමා දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත.
නමස්කාරයේ පිළිවෙළ
26එසේ නම් සහෝදරයිනි, තව මොනවා ද? ඔබ එක් රැස් වන කල, එක් එක් කෙනාට ගීතිකාවක්, පාඩමක්, එළිදරවුවක්, අන්‍ය-භාෂාවක් හෝ එහි පරිවර්තනයක් ඇත. ඒ හැම දේ වර්ධනය සඳහා වේවා. 27අන්‍ය-භාෂාවක් වේ නම්, දෙදෙනෙක්, වැඩි ම වුණොත් තිදෙනෙක් කෙනකුට පසුව, කෙනකු වශයෙන් සිටීවා. කෙනෙක් එය පරිවර්තන කරත්වා. 28පරිවර්තනයට කෙනකු නො වේ නම්, ඔවුන් සභාව තුළ නිහඬ ව සිටිමින්, තමන් තුළ හා දෙවියන්වහන්සේ සමඟ කතා කරත්වා!
29දිවැසිවරු දෙදෙනෙක් හෝ තිදෙනෙක් කතා කරත්වා. සෙසු අය ඒ කී දෑ විමසා බලත්වා. 30සභාවේ හිඳ සිටින තවත් කෙනකුට එළිදරවුවක් පැමිණියහොත්, පළමු වැන්නා නිහඬ විය යුතු ය. 31මෙසේ හැම දෙනා ම ඉගෙන ගන්නා පිණිසත්, දිරිගන්වන පිණිසත්, දිවැස් වැකි පැවසීමට ඔබ සැමට පුළුවන. 32දිවැසිවරුන්ගේ ආත්ම, දිවැසිවරුන්ට යටත් ය. 33මන්ද දෙවියන්වහන්සේ, වියවුල්කමේ නො ව, සාමයේ දෙවියන්වහන්සේ ය. ශුද්ධවන්තයින්ගේ හැම සභාවක් තුළ ම තිබෙන පරිදි එසේ ය.
34ස්ත්‍රීන් සභාවලදී නිහඬ ව සිටිය යුතු ය; එහිදී කතා කිරීමට ඔවුන්ට අවසර නැත. ව්‍යවස්ථාව ද කියන පරිදි, ඔවුන් යටත් ව සිටිය යුතු ය. 35යමක් විමසා දැනගැනීමට උවමනා නම්, තම ස්වාමි පුරුෂයන්ගෙන් ගෙදරදී විමසත්වා. මන්ද සභාවේදී කතා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවකි.
36දෙවියන්වහන්සේගේ වචනය මුලින් ම පැන නැගුණේ ඔබ වෙතින් ද? නැතහොත් එය ළඟා වූ එක ම ජනයා ඔබ පමණක් ද? 37තමා දිවැසිවරයෙක් ය, ආත්මික කෙනෙක් ය කියා යමෙක් සිතන්නේ නම්, මා ඔබට ලියන දෑ ස්වාමින්වහන්සේගේ ආඥාවක් වග ඔහු ඒත්තු ගත යුතු ය. 38මේ දෑ හඳුනා නො ගන්නා ද හඳුනා නො ගැනේ.
39එබැවින් මා සහෝදරයිනි, දිවැස් වැකි පැවසීමට ආශා වන්න. අන්‍ය භාෂා කථනය තහනම් නො කරන්න. 40එහෙත් හැම දෙයක් ම සුදුසු පරිදි, පිළිවෙලකට කළ යුතු ව ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in