YouVersion Logo
Search Icon

1 ලේකම් 24:1-31

1 ලේකම් 24:1-31 SCV

ආරොන් පුත්‍රයන්ගේ සේවා පන්ති මේවා ය: ආරොන්ගේ පුත්‍රයෝ: නාදාබ්, අබීහූ, එලෙයාසර් හා ඊතාමර් ය. එහෙත් තම පියාට කලින් නාදාබ් හා අබීහූ මිය ගිය අතර ඔවුන්ට පුතුන් සිටියේ නැත. එබැවින් එලෙයාසර් හා ඊතාමර් පූජකයින් ලෙස මෙහෙ කළහ. එලෙයාසර්ගේ පුත්‍රයින්ගෙන් වූ සාදෝක්ගේ හා ඊතාමර් පුත්‍රයින්ගෙන් වූ අහිමෙලෙක්ගේ උදවු ඇතුව දාවිත් ඔවුන්ගේ මෙහෙයයේ කාර්ය-භාරයට ඔවුන් පත් කළේ ය. ඊතාමර්ගේ පුත්‍රයින්ට වඩා එලෙයාසර්ගේ පුත්‍රයින් අතර වැඩියෙන් ප්‍රධානීන් සිටිනු හමු වූ නිසා, එලෙයාසර්ගේ පුත්‍රයින්ගෙන් පියවංශ ප්‍රධානීන් දහසය දෙනකු යටතේ හා ඊතාමර්ගේ පුත්‍රයින්ගෙන් පියවංශ ප්‍රධානීන් අටදෙනකු යටතේ ඔවුහු සංවිධාන කරන ලදහ. පස ඇට දැමීමෙන් ඔවුහු අපක්ෂපාතී ව බෙදන ලදහ. මන්ද එලෙයාසර් හා ඊතාමර් යන දෙදෙනාගේ ම පුත්‍රයින් අතරේ ශුද්ධස්ථාන නිලධාරීන් ද දෙවියන්වහන්සේගේ නිලධාරීන් ද සිටි බැවිනි. ලෙවීයෙක් වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද බලධාරීන් ද පූජක සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද ලෙවීවරුන්ගේ හා පූජකයින්ගේ පෙළපත් ප්‍රධානීන් ද ඉදිරියේ ඔවුන්ගේ නම් ලේඛනගත කළේ ය. එක් පවුලක් එලෙයාසර්ගෙන් ද අනෙක ඊතාමර්ගෙන් ද යන වශයෙන් ගනු ලැබිණි. පළමු පස ඇටය වැටුණේ යෙහෝයාරීබ්ට ය. දෙවැන්න යෙදායාට ය. තුන්වැන්න හාරිම්ට ය. සිවුවැන්න සෙයොරීම්ට ය. පස්වැන්න මල්කීයා ට ය. හයවැන්න මියාමින්ට ය. හත්වැන්න හක්කොස්ට ය. අටවැන්න අබියාට ය. නවවැන්න යේෂුවාට ය. දසවැන්න ෂෙකනියාට ය. එකොළොස් වැන්න එලියාෂීබ්ට ය. දොළොස්වැන්න යාකීම්ට ය. දහතුන්වැන්න හුප්පාට ය. දාහතර වැන්න යෙෂෙබෙයාබ්ට ය. පහළොස්වැන්න බිල්ගාට ය. දහසයවැන්න ඉම්මේර්ට ය. දාහත්වැන්න හේසිර්ට ය. දහඅටවැන්න හප්පිසෙස්ට ය. දහනවවැන්න පෙතහියාට ය. විසිවැන්න යෙහෙස්කෙල්ට ය. විසිඑක්වැන්න යාකින්ට ය. විසිදෙවැන්න ගාමුල්ට ය. විසිතුන්වැන්න දෙලායාට ය. විසිහතරවැන්න මාසියාට ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ආදි පියා වූ ආරොන්ට අණ කර තිබූ පරිදි ඔහු ලවා ඔවුන්ට පනවන ලද නියෝගයට අනුව ස්වාමින්වහන්සේගේ ගෘහයට ඔවුන් පිවිසීමේදී ඔවුන්ගේ මෙහෙයයේ නියම කරන ලද සේවය එසේ විය. සෙසු ලෙවී පුත්‍රයෝ: අම්රාම් පුත්‍රයින්ගෙන්: ෂුබායෙල් ය; ෂුබායෙල්ගේ පුත්‍රයින්ගෙන්: යේදෙයා ය; රෙහබියාගේ එනම් ඔහුගේ පුත්‍රයන්ගෙන්: ප්‍රධානියා වූ ඉෂ්ෂීයා ය. ඉස්හාර්වරුන්ගෙන්: ෂෙලොමොත් ය; ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන්: යහත් ය. හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: යෙරීයා පළමු වැන්නා ය. අමරියා දෙවැන්නා ය. යහසීයෙල් තුන්වැන්නා ය. යෙකමෙයාම් සිවුවැන්නා ය. උස්සියෙල්ගේ පුත්‍රයා: මීකා ය; මීකාගේ පුත්‍රයන්ගෙන්: ෂාමීර් ය. මීකාගේ සහෝදරයා ඉෂ්ෂීයා ය; ඉෂ්ෂීයාගේ පුත්‍රයන්ගෙන්: සෙකරියා ය. මෙරාරීගේ පුත්‍රයන්ගෙන්: මාලී හා මූෂී ය. යාසියාගේ පුත්‍රයා: බෙනෝ ය. මෙරාරී පුත්‍රයෝ: යාසියාගෙන්: බෙනෝ, ෂොහාම්, සක්කූර් හා ඉබ්රී ය. මාලීගෙන්: එලෙයාසර් ය. ඔහුට පුත්තු නො සිටියහ. කීෂ්ගෙන්: කීෂ්ගේ පුත්‍රයා: යෙරාමෙයෙල් ය. මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් හා යෙරීමොත් ය. තම පියවංශවලට අනුව ලෙවීවරු ඔවුහු ය. ඔවුහු ද ආරොන්ගෙන් පැවත එන්නන් වූ තම සහෝදරයන් කළ පරිදි, දාවිත් රජු ද සාදෝක් ද අහිමෙලෙක් ද ලෙවීවරුන්ගේත් පූජකයින්ගේත් පියවංශවල ප්‍රධානීන් ද අබියසදී පස ඇට දැමූහ. වැඩිමහල් සහෝදරයාගේ පියවංශ මෙන් ම බාල සහෝදරයාගේ පියවංශ ද එක සමාන ව සලකන ලදහ.