YouVersion Logo
Search Icon

සෙකරියා 8

8
ජෙරුසලම ප්‍රතිසංස්කරණය කිරීම
1සියලු බලැති සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණියේ ය. 2සියලු බලැති සමිඳාණන් වහන්සේ පැවසූ පණිවුඩය මෙසේ ය: “සියොන් වැසියන් උදෙසා මම දැවෙන සෙනෙහසකින් ප්‍රේම කරමි. මේ ප්‍රේමය නිසා ඔවුන්ගේ සතුරන් කෙරෙහි මම උදහස් වීමි. 3ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය. 4වයෝවෘද්ධ වූ බැවින් සැරයටි වාරුවෙන් ඇවිදින මහල්ලෝ ද මැහැල්ලෝ ද ජෙරුසලමේ වීථිවල වාඩි වන්නෝ ය. 5නගරයේ වීථි සෙල්ලම් කරන බාලක බාලිකාවන්ගෙන් පිරී යන්නේ ය.
6“මේ රටේ දැන් ඉතිරි ව සිටින අයට ඒ දවස්වල දී එය පුදුමයක් ව පෙනුණත් මටත් එය පුදුමයක් ව පෙනේ දැ”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. 7සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. 8ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
9සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ මාලිගාව යළි ගොඩනඟන පිණිස අත්තිවාරම දැමූ දා සිට දිවැසිවරයා කී මේ වචන දැනුත් අසන නුඹලා ධෛර්යවත් වන්න. 10ඊට පෙර දවස්වල දී මිනිසුන් හෝ ගවයන් හෝ කුලියට ලබාගැනීමට කිසිවෙකුට වත්කමක් නො වී ය. සතුරු උවදුරුවලට ගොදුරු නොවී ගමන්බිමන් යාමට කිසිවෙකුට නොහැකි විය. අසල්වැසියන් එකිනෙකාට විරුද්ධ ව සිටින්න මම සැලැස්වීමි. 11එහෙත්, මම දැන් මේ රටේ ඉතිරි ව සිටින අයට පෙර මෙන් ක්‍රියා නොකරමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේක. 12ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි. 13ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
යුක්තිය, සත්‍යය හා සාමදානය
14සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ මුතුන්මිත්තන් මා උදහස් කළ විට ඔවුන් පිට විපත්තිය පමුණුවන්නට මම සිතට ගතිමි. මාගේ සිත මම වෙනස් නොකෙළෙමි. 15එහෙත්, දැන් ජෙරුසලමට හා ජුදා වැසියන්ට ආශීර්වාද කරන්න මම සිතට ගෙන සිටිමි. ඒ නිසා බිය නොවන්න. 16#එපී 4:25නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න. 17එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න. දිවුරුමක් පිට බොරු සාක්ෂි නොකියන්න. මන්ද, මේ සියල්ල මම හෙළා දකිමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
18සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක. 19සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”
20සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය. 21එක නගරයක සෙනඟ තවත් නගරයක සෙනඟ අමතා, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද, උන් වහන්සේගේ ආසිරි පතන පිණිස අපි යන්නෙමු; අප සමඟ එන්නැ’යි කියනු ඇත. 22විශාල සෙනඟක් ද බලසම්පන්න ජාතීහු ද සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද උන් වහන්සේට ආසිරි පතන පිණිස ජෙරුසලමට පැමිණෙන්නෝ ය. 23ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in