රූත්ගේ කථාව 3:1-11
රූත්ගේ කථාව 3:1-11 SNRV
එවිට රූත්ගේ නැන්දම්මා වන නයෝමි ඈ අමතා මෙසේ පැවසුවා ය: “මාගේ දුව, ඔබේ ශුභසිද්ධිය සඳහා ඔබට කටයුත්තක් කර දීම මාගේ යුතුකම නොවේ ද? ඔබ සමඟ සිටි සේවිකාවන්ගේ ස්වාමියා වන බෝවස් අපේ කිට්ටු නෑයෙක් නොවේ ද? අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය. ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න. ඔහු කා බී ඉවර වන තෙක් ඔබ එහි සිටින බව ඔහුට දැනගන්නට ඉඩ නාරින්න. ඔහු නිදියන්නට සැරසෙන විට නිදියන තැන මැනවින් බලාගෙන, ඇතුළට ගොස් ඔහුගේ පා වසා තිබෙන පොරෝනාව ඉවත් කොට, එහි නිදාගන්න. එසේ කළ පසු කුමක් කළ යුතු දැ යි ඔහු ඔබට කියා දෙනු ඇත.” “ඔබ කී සියල්ලක් ම කරන්නෙමි”යි රූත් නයෝමිට පිළිතුරු දුන්නා ය. මෙසේ රූත් කමතට ගොස් සිය නැන්දම්මා තමාට කී ලෙස සියල්ල කළා ය. බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය. ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක, “ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය. “මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත. දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ ගුණවත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය.
![[Ruth] Remaining in the Covenant Relationship රූත්ගේ කථාව 3:1-11 Sinhala New Revised Version 2018](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F33889%2F1440x810.jpg&w=3840&q=75)




