ගීතාවලිය 69:1-12
ගීතාවලිය 69:1-12 SNRV
අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය. මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි. මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය. නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය. අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය. සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා! ඔබ තුමන් උදෙසා මම අපවාදයට ලක් වුණෙමි. මාගේ මුහුණ ඒ ලජ්ජාවෙන් වැසී ඇත්තේ ය. මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි; මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි. ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය. එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය. ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි. මඟ තොටේ කට කතාව මා ගැන ය; බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.





