YouVersion Logo
Search Icon

ගීතාවලිය 62

62
මිනිසාගේ එක ම බලාපොරොත්තුව
දාවිත්ගේ ගීතයකි.
1මාගේ සිතට සහනය ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පමණකි;
මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
2මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි;
එබැවින් මම නොසැලී සිටින්නෙමි.
3මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි;
ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?
4උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති;
බොරු කීමට ප්‍රිය වෙති;
මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.
5මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි;
මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
6මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි;
එබැවින් මම නොසැලී සිටින්නෙමි.
7මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය;
මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
8ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න;
එතුමාණෝ අප සරණය වන සේක.
එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
9පහළ පෙළේ අය සුළං රොදකි;
ඉහළ පෙළේ අය මායාවකි;
කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය.
සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
10බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න;
කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න;
වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.
11දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත.
එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;
12 # ජෝබ් 34:11; ජෙර 17:10; මතෙ 16:27; රෝම 2:6; එළිද 2:23 සමිඳුනි, තිර පෙම ඔබ සතු ය.
මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in