YouVersion Logo
Search Icon

ගීතාවලිය 51:7-15

ගීතාවලිය 51:7-15 SNRV

ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව. දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.