ගීතාවලිය 37:32-40
ගීතාවලිය 37:32-40 SNRV
දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි. එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක. සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත. දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි. එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත. අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි. හිමිතුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. හිමිතුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.





