ගීතාවලිය 22:12-21
ගීතාවලිය 22:12-21 SNRV
මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති. ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති. මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය. මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත. මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය. මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති. මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති. හිමිතුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව. කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.





