YouVersion Logo
Search Icon

හිතෝපදේශ 25

25
සලමොන් රජුගෙන් තවත් උපදේශ
1ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ.
2අබිරහස් ගැන අපි දෙවිඳුන්ට ගරු කරමු;
අර්ථය පහදා දීම ගැන අපි රජුට පැසසුම් දෙමු.
3රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය.
4රිදීයෙන් බොර පහකරන්න, එවිට විසිතුරු බඳුනක් තැනීමට රිදීකරුවාට හැකි වේ.
5රජු වෙතින් දුදනන් පහකරන්න;
එවිට රාජ සිහසුන දැහැමිකමෙහි තිරසර වේ.
6 # ලූක් 14:8-10 රජු අබිමුවෙහි මහන්තත්ත්වය නොපාන්න;
ප්‍රභූන්ගේ තත්ත්වය නොපතන්න.
7රජ කුමරෙකු ඉදිරියෙහි පහත්කරනු ලැබීමට වඩා “ඉහළ තැනට එන්නැ”යි කියා කැඳවනු ලැබීම කොතරම් හොඳ ද?
8ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න;
වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?
9අසල්වැසියා සමඟ ම ආරාවුල බේරාගන්න;
අනුන්ගේ රහස් අන් අයට හෙළි නොකරන්න.
10එසේ කළොත් ඔවුන් ඔබට අවලාද කියනු ඇත.
ඔබේ අපවාද පහනොවනු ඇත.
11තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න.
12මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.
13විශ්වාසවත් පණිවුඩකරු තම හිමියාට ගිම්හානයේ රස්නය නිවන සිහිල් හිම මෙන් සතුට ගෙන දෙයි.
14දීමට පොරොන්දු වී නො දී සිටින අය වැහි නොදෙන සුළං හා වලාකුළු මෙනි.
15ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක;
මුදු මොළොක් බසින් දැඩි ආධිපත්‍යය බිඳිය හැක.
16මී පැණි ලදහොත් තරමට පමණක් කන්න;
වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.
17අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න;
ගියොත් ඔහුට ඔබ එපා වී ඔහු ඔබ නුරුස්සයි.
18අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය.
19විපත්ති දවසේ දී චපල මිනිසෙකු කෙරේ විශ්වාසය තැබීම, දිරා ගිය දතක් ද කොර කකුලක් ද ඇති ව සිටීම මෙනි.
20දුකින් පෙළෙන කෙනෙකුට මියුරු ගීයක් ගැයීම තුවාළයක් මත විනාකිරි දැමීමත් සීත දවසක ඔහුගේ කබාය ගැලවීමත් සමාන ය.
21 # රෝම 12:20 ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න;
පිපාසා නම් බොන්න වතුර ටිකක් දෙන්න;
22මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත.
සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.
23උතුරු සුළඟ වැස්ස ගෙනෙයි, එලෙස ම කේළාම් කීම කෝපය අවුස්සයි.
24කලහකාරී බිරිඳක සමඟ ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳ ය.
25දුර රටකින් එන හොඳ ආරංචිය, පිපාසයෙන් වේළුණු උගුරට ඇල් වතුර මෙනි.
26දුදනා අබිමුව බියෙන් ගැහෙන සුදනා බොර දිය නඟින උල්පතක් ද පල් වතුර ඇති ළිඳක් ද වැනි ය.
27මී පැණි ගොඩක් බීම හොඳ නැත;
තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.
28අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in