YouVersion Logo
Search Icon

හිතෝපදේශ 16

16
1සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය;
අවසන් තීරණය සමිඳුන් වෙත ය.
2තම ක්‍රියාවලිය හරි යයි මිනිසා සිතයි;
එහෙත් සමිඳාණෝ ඔහුගේ ඇතුළාන්තය විමසන සේක.
3ඔබේ ක්‍රියාවලිය සමිඳුන් හට කැප කරන්න;
එවිට ඔබේ අරමුණු ඉටු වනු ඇත.
4සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත;
දුදනන්ගේ ඉරණම විනාශය වේ.
5උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි.
ඔවුන්ට දඬුවම සිකුරු ය.
6දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න;
දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත.
සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.
7මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.
8වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.
9මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.
10රජ තෙම දෙවි අනුහසින් කතා කරයි.
එබැවින් ඔහුගේ තීරණ නිවැරදි ය.
11තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.
12පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.
13අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි;
ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.
14රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.
15රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත;
රාජ ප්‍රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න.
16රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.
17නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය;
ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
18විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.
19උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.
20දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.
21සිතෙහි ප්‍රඥාව ඇත්තා නැණවතෙකි;
සිය මියුරු බසින් අන් අය නම්මා ගනියි.
22නුවණැත්තාගේ ප්‍රඥාව ඔහුට ජීවන උල්පතකි.
එහෙත් අනුවණයාට ඉගැන්වීමෙන් වැඩක් නැත.
23නැණවතා කතාවට පෙර සිතා බලයි;
ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි.
24ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,
25 # හිතෝ 14:12 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය.
26සාගින්න කම්කරුවා වැඩට යවයි;
සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.
27දුදනා නපුරු කටකතා පතුරුවයි:
ඔහුගේ දිව, දැවෙන ගින්නකි.
28කලහකාරී අය වාද භේද පතුරුවති;
කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති.
29දාමරිකයෝ මිතුරන් මුළා කරති;
ඔවුන්ගේ විනාශයට මඟ පාදති.
30දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි;
ඇස් කොණකින් ඉඟි කරන්නා නපුර සිතයි.
31පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.
32ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය;
ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.
33තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ;
තීරණය දෙන්නේ සමිඳාණෝ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in