YouVersion Logo
Search Icon

ගණන් කථාව 24

24
1ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය. 2ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය. 3එවිට ඔහු මේ අනාවැකිය කී ය:
“බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය.
ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.
4දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.
5එම්බා ජාකොබ්!
ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද?
එම්බා ඉශ්රායෙල්!
ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද?
6ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙනි, ගඟබඩ උයන් මෙනි;
සමිඳුන් රෝපණය කළ අගරු ගස් මෙනි;
ගං තෙර කිහිරි ගස් මෙනි.
7ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි;
ඔවුන්ගේ පෙළපත මහ සමුදුර මෙනි, ඔවුන්ගේ රජ, ආගග් රජුට වඩා උසස් වනු ඇත.
ඔවුන්ගේ අණසක දසත පැතිර යනු ඇත.
8දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක.
කුළු හරකාට උගේ අං යම් සේ ද, දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත.
ඔවුන් තම හතුරු ජාතීන් කාදමනු ඇත, ඇටකටු සිඳ බිඳ, ඊතල සුන්බුන් කරනු ඇත.
9 # උත් 12:3; 49:9 සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති.
උන් අවදි කරන්නට සමතා කවරෙක් ද?
ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි;
ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”
10එවිට බාලාක් බාලාම්ට විරුද්ධ ව තදින් රොස් වී, අත් මිටමොළවා, ඔහු අමතමින්, “මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කරන්නට ය. එහෙත්, ඔබ කර ඇත්තේ තෙවරක් ම ඔවුන්ට ආසිරි පැතීම යි. 11එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය.
12එවිට බාලාම් පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ දූතයන්ට කතා කොට, 13“බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද? 14බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත්, මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි”යි කීවේ ය.
බාලාම්ගේ අවසාන අනාවැකිය
15ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය.
“බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.
16දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.
17මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ;
මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ;
ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත;
ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත.
එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.
18ඒදොම් පරාජිත රටක් වේ;
සේයිර් ද පරාජිත රටක් වේ;
ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත.
19ඉශ්රායෙල් ජනයා සතුරන් පරදා නගරයේ ඉතුරු වන්නන් වනසාලන්නේ ය.”
20එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය:
“ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය;
එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”
21ඔහු කේනිවරුන් දෙස බලා, මේ අනාවැකිය පැවසී ය.
“ඔබේ වාසභවනය ශක්තිමත් ය;
ඔබේ කැදැල්ල පර්වතයක් මෙන් සුරැකි ව ඇත.
22එහෙත් කේනිවරුන් වැනසෙනු ඇත;
අසිරියාව ඔබ හැම අල්ලාගනු ඇත.”
23බාලාම් මේ අනාවැකිය ද පැවසී ය.
“දිවයින් වැසියෝ උතුරු දිගට රැස් වෙති.
24කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත.
අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත.
එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.”
25ඉන්පසු බාලාම් නැඟිට සිය නිවෙස බලා ආපසු ගියේ ය.
බාලාක් ද යන්නට ගියේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in