YouVersion Logo
Search Icon

ගණන් කථාව 2

2
ගෝත්‍ර අනුව කඳවුරු බැඳීම
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: 2“ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙක් ම තම පිය පෙළපත්හි ලකුණු අනුව, තම ගෝත්‍රයේ ධජය සමීපයේ තම තමාගේ කූඩාරම ගැසිය යුතු වේ. එහෙත්, ඒවා ගැසිය යුත්තේ සම්මුඛ මණ්ඩපය ඉදිරියේ වටකරමින් ය.
3පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත. 4ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාව ද හැත්තෑ හාරදාස් හයසියයක් වනු ඇත.
5ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්‍රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත. 6ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හතරදාස් හාරසියයක් වනු ඇත.
7ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත. 8ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හත්දාස් හාරසියයක් වනු ඇත.
9ජුදාගේ කඳවුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදාස් හාරසියයක් වේ. මොවුන් පළමුවෙන් පිටත් ව යා යුතු ය.
10දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත. 11ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් හයදාස් පන්සියයක් වේ.
12ඊට යාබද ව සිමියොන්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වනු ඇත. 13ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් නවදාස් තුන්සියයක් වේ.
14ඊළඟට ගාද්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා රෙවුයෙල්ගේ පුත් එලියාසාප් වනු ඇත. 15ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් පන්දාස් හයසිය පණහක් වේ.
16මෙලෙස රූබන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පණහක් වේ. මොවුන් දෙවනු ව පිටත් ව යා යුතු ය.
17ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්‍රික ධජය සමීපයෙන් ය.
18බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත. 19ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ.
20ඊට යාබද ව මනස්සේගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වනු ඇත. 21ලියාපදිංචි කළ මොහුගේ හමුදාව තිස්දෙදාස් දෙසියයක් වේ.
22ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත. 23ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව තිස්පන්දාස් හාරසියයක් වේ.
24මෙලෙස එප්‍රායිම්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අටදාස් එකසියයක් වේ. මොවුන් තුන්වනු ව පිටත් ව යා යුතු ය.
25උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් වනු ඇත. 26ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හැට දෙදාස් හත්සියයක් වේ.
27ඊට යාබද ව ආෂෙර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වනු ඇත. 28ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් එක්දාස් පන්සියයක් වේ.
29ඊළඟට නප්තලීගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත. 30ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් තුන්දාස් හාරසියයක් වේ.
31මෙලෙස දාන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පනස් හත්දාස් හයසියයක් වේ. මොවුන් තම තමන්ගේ ධජ අනුව අන්තිමට පිටත් ව යා යුතු ය.”
32මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේ ම, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඉශ්රායෙල් ජනයාගේ මුළු ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් විය. 33එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.
34උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in