ශුද්ධවර මතෙව් 26:14-56
ශුද්ධවර මතෙව් 26:14-56 SNRV
තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, “ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ද, “ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. සවස් වූ කල උන් වහන්සේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ පූප ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, “ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක. ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ. තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, “ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. “එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක. පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය. ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ. එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද? ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක. උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, “අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක. උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, “ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක. උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ජේසුස් වහන්සේ ද, “මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ. උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය. එවිට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති. දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද? එහෙත්, එසේ කළොත්, මේ දෙය මෙලෙස ම විය යුතු යයි ශුද්ධ ලියවිලිවල කියන දේ ඉටු වන්නේ කෙසේ දැ”යි ඔහුට වදාළ සේක. ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත. මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ.





