YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 24:29-44

ශුද්ධවර මතෙව් 24:29-44 SNRV

“ඒ දවස්වල පීඩා නිම වූ කෙණෙහි ම, හිරු අඳුරු වන්නේ ය; සඳ එළිය නොදෙන්නේ ය; තාරකාවෝ අහසින් පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රම දෙදරා යයි. එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය. උන් වහන්සේ මහත් හොරණෑ හඬක් සහිත ව තම දූතයන් එවන සේක. ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිව් දිගින් තෝරාගත්තවුන් රැස් කරන්නෝ ය.” “අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ යයි ඔබ දන්නහු ය. එලෙස ම ඔබත් මේ සියල්ල සිදුවනු දකින විට උන් වහන්සේ දොරකඩ ම යයි දැන ගන්න. සැබැවින් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ වී නොයන්නේ ය. අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.” “මාගේ පියාණන් වහන්සේ මිස, ඒ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දේව දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති. තවද නෝවාගේ දවස්වල සිදු වූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය වන්නේ ය. එකල, ජල ගැල්මට ප්‍රථමයෙන්, නෝවා නැවට ඇතුළු වූ දිනය දක්වා, ඔව්හු කමින් බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත. එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය. ස්ත්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිති; එක් තැනැත්තියක් ගනු ලබන්නී ය; අනික් තැනැත්තිය හැරදමනු ලබන්නී ය. එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය. සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 24:29-44