YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 20:17-28

ශුද්ධවර මතෙව් 20:17-28 SNRV

ජේසුස් වහන්සේ ජෙරුසලමට යමින් සිටි සේක්, අතරමඟ දී අපෝස්තුළුවරුන් දොළොස් දෙනා වෙන් කොට ගෙන ඔවුන්ට කතා කොට, “දැන් අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකයන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබන සේක. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට, කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමඟ උන් වහන්සේ වෙත අවුත්, දණින් වැටී, එක් වරයක් ඉල්ලුවා ය. උන් වහන්සේ කතා කරමින්, “ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය. එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. “අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක. දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කෝප වූ හ. එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහු ය. එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 20:17-28