ශුද්ධවර මතෙව් 16:5-20
ශුද්ධවර මතෙව් 16:5-20 SNRV
ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. “උන් වහන්සේ එසේ කියන්නේ අප රොටි නොගෙනා නිසා ය”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. ජේසුස් වහන්සේ ඒ බව දැන, “ඇදහිල්ල හීන තැනැත්තෙනි, ඔබට රොටි නැති නිසා ඔබ එසේ කතා කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් ගොස් නැද් ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත්, සාර දහසකට දුන් රොටි හත ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත් මතක නැද් ද? රොටි ගැන මා ඔබට කතා නොකළ බව තේරුම් නොගියේ කෙසේ ද? එහෙත්, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. මෙයින් උන් වහන්සේ අදහස් කෙළේ රොටි සාදන මුහුන්වලින් පරෙස්සම් වීම නොව, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම බව ඔව්හු තේරුම් ගත්හ. ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ. “එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය. මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.





