ශුද්ධවර මතෙව් 16:1-12
ශුද්ධවර මතෙව් 16:1-12 SNRV
පරිසිවරු ද සද්දුසිවරු ද අවුත්, උන් වහන්සේ වචනයකින් අසු කරගනු පිණිස තමන්ට ස්වර්ගයෙන් හාස්කමක් පෙන්වන මෙන් උන් වහන්සේගෙන් ඉල්ලූහ. උන් වහන්සේ උත්තර දෙමින්, “සවස් කාලයෙහි අහස රතු පැහැය ගන්නා නිසා කාලගුණය හොඳ ය කියා ද, උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන. අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක. ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. “උන් වහන්සේ එසේ කියන්නේ අප රොටි නොගෙනා නිසා ය”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. ජේසුස් වහන්සේ ඒ බව දැන, “ඇදහිල්ල හීන තැනැත්තෙනි, ඔබට රොටි නැති නිසා ඔබ එසේ කතා කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් ගොස් නැද් ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත්, සාර දහසකට දුන් රොටි හත ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත් මතක නැද් ද? රොටි ගැන මා ඔබට කතා නොකළ බව තේරුම් නොගියේ කෙසේ ද? එහෙත්, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. මෙයින් උන් වහන්සේ අදහස් කෙළේ රොටි සාදන මුහුන්වලින් පරෙස්සම් වීම නොව, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම බව ඔව්හු තේරුම් ගත්හ.





