මලාකි 2:1-9
මලාකි 2:1-9 SNRV
“පූජකවරුනි, මේ ආඥාව නුඹලාට ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. “නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත. මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි. එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. “මාගේ ගිවිසුමක් මඟින් ඔවුන්ට ජීවිතයත්, සෞභාග්‍යයත් දෙන්නට මම පොරොන්දු වීමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ල මම ඔවුන්ට දිනිමි. එසේ ඔව්හු බිය ඇති ව මාගේ නාමයට ගරුබිය දැක්වූ හ. ඔව්හු අසත්‍යය නොව සත්‍යය ඉගැන්වූ හ. ඔව්හු සමගිකමෙන් හා අවංකකමෙන් මා සමඟ ජීවත් වී බොහෝ දෙනෙකු අපරාධයෙන් වළක්වාලූ හ. දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය. “එහෙත්, පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත. නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවී සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත. නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.



