ශුද්ධවර ලූක් 19:39-48
ශුද්ධවර ලූක් 19:39-48 SNRV
එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, “ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙසේ වදාළ සේක: “අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය. ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.” උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, “ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ. මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.

![[Uniqueness of Christ] Jesus' Unique Role ශුද්ධවර ලූක් 19:39-48 Sinhala New Revised Version 2018](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34539%2F1440x810.jpg&w=3840&q=75)



