YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 25:1-13

ලෙවී ව්‍යවස්ථාව 25:1-13 SNRV

සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න: මා නුඹලාට දෙන්නට යන දේශයට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස එම දේශයට සබත් විවේකයක් දිය යුතු ය. අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. එහෙත්, හත් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතු ය. ඒ අවුරුද්දේ නුඹලා නොවපුළ යුතු ය. මිදි වතුවල අතු නොපෑහිය යුතු ය. ඉබේ ම වැඩෙන අස්වැන්න ද නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වැල්වල පල රැස් නොකළ යුතු ය. එය දේශයට ද දෙන අවුරුද්දක නිවාඩුවකි. වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද නුඹේ ගවයන්ට ද ඉඩම්වල සිටින මෘගයන්ට ද ආහාර ලැබෙනු ඇත. වගා නොකළ කෙත් වතුවලින් ඇති වන සියල්ල නුඹලාට කෑ හැකි ය.” “අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත. එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය. මෙලෙස නුඹලා පනස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය. පනස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය. එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන. “මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.

Free Reading Plans and Devotionals related to ලෙවී ව්‍යවස්ථාව 25:1-13