ජෝබ් 1:1-5
ජෝබ් 1:1-5 SNRV
යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි. ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය. ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ. මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.





