YouVersion Logo
Search Icon

ජෙරමියා 1:1-9

ජෙරමියා 1:1-9 SNRV

මේ වනාහි බෙන්ජමින් වංශයට අයිති අනාතොත්හි විසූ පූජකයන්ගෙන් එක් කෙනෙකු වූ හිල්කියාගේ පුත් ජෙරමියාගේ පණිවුඩය ය. ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය. ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.‍ සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.” එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න. ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.