වීරාවලිය 2:6-15
වීරාවලිය 2:6-15 SNRV
ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය. ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ. ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය.





