යෙසායා 6:1-9
යෙසායා 6:1-9 SNRV
උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය. සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය. එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.” ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය. එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.” එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්, එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය. එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි. උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.





