YouVersion Logo
Search Icon

උත්පත්ති 42:1-24

උත්පත්ති 42:1-24 SNRV

මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද? බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය. එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය. මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ. ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ. ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ. ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ. ඔවුන් ගැන දුටු සිහින ද ඔහුට මතක් වී, ඔවුන්ට කතා කොට, “නුඹලා ඔත්තුකාරයෝ ය; නුඹලා පැමිණියේ රටේ දුබල තැන් බැලීමට ය”යි කීවේ ය. එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය. අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ. එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එක ම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ දොළොස්දෙනෙකි. ඇත්තට ම බාල ම තැනැත්තා අද අපේ පියා සමඟ ය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතැ”යි කී හ. ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි. නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි. නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය. ඔහු ඔවුන් සියල්ලන් දින තුනක් ම හිරබාරයේ තැබී ය. තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න; නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න. එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ. ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය. එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය. ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි. ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 42:1-24