උත්පත්ති 14:10-22
උත්පත්ති 14:10-22 SNRV
තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. ජයග්‍රාහි රජවරු සොදොම් සහ ගොමොරාහි ධනසම්පත් ද, ඔවුන්ගේ ආහාර පාන ද රැගෙන යන්න ගියහ. මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ. එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය. එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය. සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය. තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් පූප සහ මිදියුස ගෙනැවිත් ඔහුට ආශීර්වාද කරමින්, “අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා! ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය. එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට, “ධනසම්පත් ඔබට තබාගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නැ”යි කී ය. එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි





