ගලාති 4:1-20
ගලාති 4:1-20 SNRV
මා අදහස් කරන්නේ මෙය යි: උරුමක්කාරයා සියල්ලට ම හිමිකාරයා වන නමුත්, ඔහු බාල වයස් කාරයෙකු ව සිටින තාක්, දාසයෙකුට වඩා වෙනසක් නැත. පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි. එසේ ම අපිත් බාල වයස්කාරයන් ව සිටිය දී විශ්වයේ දෙවිදේවතාවන්ට වහල් ව සිටියෙමු. එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය. තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, “අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක. මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි. එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය. එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබිය දී, නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබිය දී, ඔබ ඒ දුර්වල, නිෂ්ඵල දෙවිදේවතාවුන්ට වහල්වීමේ ආශාවෙන්, නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේ ද? ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය. සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත. සහෝදරවරුනි, මා ඔබෙන් උදක් ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියා ය. වරක් මමත් ඔබ හා සමාන ව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත. මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය. එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය. එසේ නම්, ඔබට තිබුණු ඒ ප්‍රීතිය දැන් කොයි ද? ඔබගේ ඇස් උගුළා මට දෙන තරමට වුව ද ඔබ සූදානම් ව සිටි බව සහතික ලෙස කිව හැකි ය. දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද? මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි. යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි. මාගේ දරුවෙනි, ඔබ තුළ ක්‍රිස්තු ගතිගුණ හැඩගැසෙන තුරු, ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි. ඒ නිසා හැකි නම් ඔබ සමඟ සිට වෙන පිළිවෙළකට ඔබට කතා කරන්න කැමැත්තෙමි. මන්ද, ඔබ ගැන මාගේ සිත වියවුල් වී තිබේ.





