නික්මයාම 37:1-9
නික්මයාම 37:1-9 SNRV
බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය. එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය. පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා, කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය. කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය. කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය. කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.


