YouVersion Logo
Search Icon

නික්මයාම 14:1-12

නික්මයාම 14:1-12 SNRV

සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න. ‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත. මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ. සෙනඟ පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී. එවිට ඔහු ද ඔහුගේ නිලධාරීහු ද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට, “ඉශ්රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කෙළේ කුමන ක්‍රියාවක් දැ”යි කියාගත්හ. පාරාවෝ ඉන්පසු තම යුද්ධ රථය සූදානම් කොට තම සෙනඟ ද එක්රැස් කොට ගත්තේ ය. තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ. සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය. මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ. පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ. ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? ‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 14:1-12