YouVersion Logo
Search Icon

එස්තර් (ග්‍රීක් පිටපත) 7

7
හාමාන් එස්තර්ගේ මංගල භෝජනයට සහභාගි වීම
1රජ ද හාමාන් ද එස්තර් බිසොවගේ මංගල භෝජනයට පැමිණ සිටියෝ ය. 2රජ මේ දෙ වන දවසෙහි ද එස්තර්ට නැවත කතා කොට, “එස්තර් බිසොව, ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් එය ලැබේ. ඔබ ආශා කරන්නේ කුමක් දැ යි මට කියන්න. ඒ ඉල්ලීම මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද එය ඉටු කරනු ලැබේ”යි කීයේ ය.
3එවිට එස්තර් බිසොව ඔහුට උත්තර දෙමින්, “රජතුමාණනි, ඔබ ඉදිරියෙහි මට සැබැවින් ම කරුණාව ලැබී තිබේ නම්, එය ඔබට ප්‍රසන්න වන්නේ නම් මට මාගේ ප්‍රාණය දුන මැනව. මාගේ ඉල්ලීම මෙය වේ. 4මාගේ ජාතියේ ප්‍රාණය ද දෙනු ලැබේ වා! මෙය මාගේ ආශාව යි. මන්ද, මාගේ ජාතියත්, මාත් සම්පූර්ණ විනාශයට ද ඝාතනයට ද නාස්තියට ද නියම ව සිටින හෙයිනි. දාසයන් හා දාසියන් වීමට පමණක් අප නියම වී සිටියා නම්, මම නිශ්ශබ්ද වී සිටින්නෙමි. එහෙත් දැන් තිබෙන තත්ත්වය අනුව රජුට සිදු වන්න යන පාඩුව පිරිමසන්නට පීඩකයාට නොහැකි වන්නේ ය”යි කීවා ය. 5අහෂ්වේරොෂ් රජ එස්තර් බිසොවගේ කතාව අතරමඟ දී නවත්වමින්, “ඒ කවු ද? මෙබඳු දුෂ්ට අපරාධයක් කරන්නට සිතූ මිනිසා කවු දැ”යි ශබ්ද නඟා ඇසුවේ ය. 6එවිට එස්තර් කතා කොට, “පීඩකයෙක් ද සතුරෙක් ද වන මේ නීච හාමාන් ය”යි කීවා ය. 7රජු සහ බිසොව ඉදිරියෙහි හාමාන් භයින් ගල්ගැසුණි. කෝපාවිෂ්ට වූ රජ නැඟිට මංගල භෝජනයෙන් ඉවත් ව මාලිගාවේ උයනට ගියේ ය. ඒ අතර රජු තමා විනාශ කරන්නට ඉටාගෙන සිටි බව තේරුම්ගත් හාමාන් තම ප්‍රාණය ඉල්ලා එස්තර් බිසොවට කන්නලව් කරන පිණිස එහි නැවතුණේ ය. 8රජතෙම උයනේ මංගල භෝජන ශාලාවට හැරී ආ කල එස්තර් ඇලවී සිටි යහනෙහි හාමාන් සිටිනු දුටුවේ ය. එවිට රජ කෑ ගසා, “මොහු මාගේ මාලිගාවෙහි මා ඉදිරිපිට බිසොවට බලහත්කාරකමක් කරන්නට යන්නේ දැ”යි ඇසුවේ ය. මේ වචන රජුගේ මුවින් පිට වනු සමඟ ම ඔව්හු හාමාන්ගේ මුහුණ රෙදි කඩකින් වැසුවෝ ය. 9රජුට සේවය කළ නපුංසකයන්ගෙන් කෙනෙක් වූ හර්බෝනා එහි සිටියේ ය. ඔහු කතා කොට, “රජුගේ ප්‍රාණය ගැළවීම සඳහා ආරංචියක් දැන් වූ අර මොර්දෙකායිට හාමාන් පිළියෙළ කළ පනස් රියනක් උස ඇති පෝරකයක් තිබේ. එය මේ දැන් ඔහුගේ ගෙය ළඟ තිබේ ය”යි කීවේ ය. “මොහු එල්ලා දමන්නැ”යි රජ අණ කෙළේ ය. 10මෙසේ හාමාන් විසින් මොර්දෙකායි සඳහා සාදන ලද පෝරකයෙහි හාමාන් එල්ලනු ලැබුවේ ය. රජුගේ කෝපය සංසිඳුණේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in