YouVersion Logo
Search Icon

එස්තර් (ග්‍රීක් පිටපත) 2

2
එස්තර්ට බිසෝ තනතුර ලැබීම
1මින් ස්වල්ප කලකට පසු තම බලවත් කෝපය සංසිඳුන විට අහෂ්වේරොෂ් රජුට වස්තී ද ඈ හැසුරුණු ආකාරය ද ඒ සම්බන්ධයෙන් ගන්න ලද තීරණයන් ද සිහි විය. 2එවිට රජු වෙත සිටි සේවකයෝ ඔහුට කතා කොට, “රූමත් තරුණියන් රජු උදෙසා සොයත් වා! 3එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් සූසා බලකොටුවෙහි අන්තඃපුරයට රජුගේ නපුංසකයෙකු වූ, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතේ රැස් කරන පිණිස රජු විසින් තම රාජ්‍යයේ සියලු ප්‍රදේශවල මුලාදෑනීන් පත් කෙරේ වා! ඔහු ඔවුන්ට තමන් අලංකාර කරගැනීමට අවශ්‍ය වන සියලු දේ සපයා දේ වා! 4එවිට රජු වඩාත් ම කැමැති වන තරුණිය වස්තී වෙනුවට ඔහුගේ බිසොව වේ වා!”යි කීවෝ ය. මේ යෝජනාවට රජ එකඟ වී එසේ ම කෙළේ ය.
5බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් පිටුවහල් කරන ලද ජුදාහි රජ වූ ජෙකොනියාස් සමඟ ගෙනයනු ලැබූවන් අතරේ, 6ජෙරුසලමෙන් නෙරපා දමන ලද බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂමයිගේ පුත් ජයිර්ගේ පුත්‍රයා වන මොර්දෙකායි නම් ලත් ජුදා ජාතිකයෙක් සූසා බලකොටුවෙහි සිටියේ ය. 7ඔහු හදස්සා හෙවත් එස්තර් නමැත්තියක දරුවෙකු මෙන් ඇතිදැඩි කරගෙන සිටියේ ය. ඔහුගේ බාප්පාගේ දුව වූ ද මවුපිය දෙදෙනා නැති ව අනාථ වූ ද ඈ මනා පෙනුමකින් සහ ශෝභා සම්පන්න මුහුණකින් යුතු ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකායි ඇය තමාට දුවක වශයෙන් හදාගත්තේ ය.
8රජුගේ නියෝගය ප්‍රකාශ කරනු ලැබූ කල්හි තරුණියෝ බොහෝ දෙනෙක් සූසාහි බලකොටුවට රැස් කරන ලදුව රාජ මාලිගාවට ගෙනයනු ලැබුවෝ ය. අනෙක් තරුණියන් මෙන් ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි යටතට බාර දෙන ලද මේ තරුණිය ඔහුට ප්‍රසන්න වී ඔහුගේ ප්‍රසාදය ලබා ගත්තා ය. 9ඔහු ඇයට තමා අලංකාර කරගැනීමට අවශ්‍ය සියලු දේ වන ආහාර පාන හැකි පමණ ඉක්මනින් සපයා දෙන්නට ඕනෑකමින් සිතට ගත්තා පමණක් නොව ඇයට රජ ගෙදරින් තෝරන ලද සේවිකාවන් සත් දෙනෙකු ද දී ඒ සේවිකාවන් සමඟ ඇය අන්තඃපුරයේ වඩා හොඳ කාමර පෙළකට මාරු කෙළේ ය. 10එස්තර් ඇගේ ජාතිය වත් ඇගේ පරපුර වත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකායි ඇයට අණ කර තිබුණ හෙයිනි. 11මොර්දෙකායි එස්තර්ගේ සැප සනීප හා ඇයට සිදු විය හැකි සියලු දේ ද දැනගනු සඳහා දිනපතා ම අන්තඃපුරයේ මළුව ඉදිරියේ ඇවිද්දේ ය. 12එක එක තරුණ ස්ත්‍රීන් සඳහා වූ නියෝගයෙන් නියම කරන ලද කාලයට හෙවත් මාස දොළසකට පසු තමාගේ වාරය අනුව අහෂ්වේරොෂ් රජ ඉදිරියෙහි පෙනී සිටීම අවශ්‍ය විය. මේ සූදානම් වීමේ කාලය මෙසේ ගත කළ යුතු විය. සය මසක් තුළ තරුණියෝ සුවඳ ලාටු තෛලය භාවිත කළෝ ය. තවත් සය මසක් තුළ ගුගුල් ද ස්ත්‍රීන් තමන් අලංකාර කරගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදන සුගන්ධ තෛලය ද පාවිච්චි කළෝ ය. 13රජු ඉදිරියට යනු පෙර එක එක තරුණිය විසින් තමා කැමැති කොයි දෙයක් වුවත් ඉල්ලිය හැකි විය. එය ඇයට සපයන ලද්දේ ය. ඈ අන්තඃපුරයේ සිට රාජ මාලිගාවට ගිය විට එය තමා සමඟ ගෙන ගියා ය. 14ඈ එහි ගියේ සවස ය. පසු දින ස්ත්‍රීන්ගේ දෙ වන ගෙට, රජුගේ නපුංසකයා වූ උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවා ය. රජු ඇයට ප්‍රිය ව නම කියා ඇයට අඬ ගැසුවොත් මිස නැත්නම් ඇය රජු ළඟට තවත් පැමිණියේ නැත.
15එහෙත්, මොර්දෙකායි විසින් දුවක වශයෙන් ඇති කරගන්නා ලද්දා වූ ද තම බාප්පා වූ අබිහයිල්ගේ දුව වූ ද එස්තර්ට රජු වෙත යාමට වාරය පැමිණි විට රජුගේ නපුංසකයා වූ ද ස්ත්‍රීන්ගේ රැකවලා වූ ද හෙගයි නියම කළ දේ හැර අන් කිසිවක් ඈ නොඉල්ලුවා ය. එහෙත්, එස්තර් ඈ දුටු සියලු දෙනාගේ විස්මය දිනා ගත්තා ය. 16මෙසේ එස්තර්ට අහෂ්වේරොෂ් රජුගේ රජ කාලයේ සත් වන වර්ෂයේ තෝබෙත් නම් දස වන මාසයෙහි දී රජගෙයි ඔහු වෙත ගෙනයනු ලැබුවා ය. 17රජ ද සියලු ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ප්‍රිය කෙළේ ය. ඈ ඔහු ඉදිරියෙහි අන් සියලු තරුණියන්ට වඩා ප්‍රශංසා ද ලබා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිස පිට රාජ ඔටුන්න තබා වස්තී වෙනුවට ඇය බිසෝ තනතුරට තෝරාගත්තේ ය.
18ඉන්පසු රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට එස්තර්ගේ මංගල භෝජනය වූ මහා භෝජන උත්සවයක් පවත්වා සියලු ප්‍රදේශවලට නිවාඩු දිනයක් නියම කර රාජකීය ත්‍යාගවන්තකමින් සරු ලෙස පාරිතෝෂිකයන් බෙදා දුන්නේ ය.
මොර්දෙකායි සහ හාමාන්
19අනෙක් තරුණියන් මෙන් දෙ වන අන්තඃපුරයට මාරු කරනු ලබන විට එස්තර්, මොර්දෙකායි ඇයට අණ කළ පරිදි, 20ඇගේ ජාතිය වත් පරපුර වත් ඈ නොදන්වා සිටියා ය. ඈ තමා මොර්දෙකායිගේ භාරකාරත්වය යටතේ සිටිය දී මෙන් දැනුදු ඔහු නියම කළ දේ ඉටු කළා ය. 21එකල්හි මොර්දෙකායි රාජකීය භාණ්ඩාගාරයෙහි සේවාවෙහි යෙදී සිටියේ ය. රජු කෙරෙහි අමනාපයෙන් සිටි නපුංසකයන් වූ බිග්තාන් සහ තෙරෙෂ් යන එළිපත මුරකාවේ දෙදෙනෙක් අහෂ්වේරොෂ් රජු රහසින් මැරීමට කුමන්ත්‍රණය කළෝ ය. 22මොර්දෙකායි ඒ ගැන එස්තර් බිසවට දැන්වූයේ ය. එස්තර් ද මොර්දෙකායිගේ නාමයෙන් රජුට ඒ ගැන කීවා ය. කාරණය විභාග කරගත් කල්හි එය සැබෑ බව ඔප්පු විය. කුමන්ත්‍රණකාරයෝ දෙදෙනා පෝරකයට යවන ලද්දෝ ය. මේ කාරණය රජු ඉදිරියෙහි දී ම රාජ වංශාවලියෙහි ලියා තබන ලද්දේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in