YouVersion Logo
Search Icon

එස්තර් (ග්‍රීක් පිටපත) 10

10
මොර්දෙකායිට ප්‍රශංසා
1අහෂ්වේරොෂ් රජ දේශයට ද මුහුදේ දිවයින්වලට ද කප්පම් නියම කෙළේ ය. 2ඔහුගේ බලයේ හා වික්‍රමයේ සියලු විස්තර වීර ක්‍රියා ද, ඔහු විසින් මොර්දෙකායි මහත් ගෞරවයට උසස් කරනු ලැබීමේ විස්තර ද යන සියලු දේ මේදවරුන්ගේ ද පර්සියානුවරුන්ගේ ද රජදරුවන්ගේ ලේඛන පොතෙහි ලියැවී තිබේ.
3එහි මෙසේ ලියැවී ඇත: “ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායි අහෂ්වේරොෂ් රජුට පසු පළමුවැන්නා වූයේ ය. ඔහු ජුදෙව්වරුන් විසින් ගෞරවයෙන් සලකන ලද්දේ තම සහෝදර සමූහයට ප්‍රිය වූ කෙනෙකු ව සිටියේ ය. ඔහු තම සෙනඟගේ යහපත සොයමින් තම ජාතියේ ශුභසිද්ධිය සඳහා සිත යෙදෙව්වේ ය.”
4මොර්දෙකායි මෙසේ කීයේ ය: “මේ සියල්ල දෙවියන් වහන්සේ කළ දෙයකි. 5මේ කරුණු ගැන මා දුටු ස්වප්නය මට මතක ය. එයින් කිසිවක් අත් හැරී නැත. 6ගංගාවකට හැරුණු කුඩා උල්පත ද, බැබලූ ආලෝකය ද සූර්යයා ද ජල ප්‍රවාහයන් ද යන මේ සියලු දේ එහි ය. 7මේ ගංගාව නම් රජු සරණ පාවාගෙන තම බිසොව කරගත් එස්තර් ය. මකරෝ දෙදෙනා නම් හාමාන් සහ මම යි. 8ජාතීහු නම් ජුදෙව්වරුන්ගේ නාමය විනාශ කිරීමට එක්රැස් වූ අය යි. 9දෙවියන් වහන්සේට මොරගසා ගැළවීම ලබාගත් අය මාගේ සෙනඟ වූ ඉශ්රායෙල් ය. එසේ ය, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟ ගළවාගත් සේක. සමිඳාණන් වහන්සේ මේ සියලු නපුරෙන් අප නිදහස් කළ සේක. දෙවියන් වහන්සේ ජාතීන් අතර කිසි කලෙක සිදු නොවූ ආකාර පුදුමයන් ද ආශ්චර්යයන් ද සිදු කළ සේක. 10සැබැවින් ම උන් වහන්සේ නියමයන් දෙකක් පිහිටෙවූ සේක. ඉන් එකක් උන් වහන්සේගේ සෙනඟ සම්බන්ධයෙන් ය. අනෙක ජාතීන් සම්බන්ධයෙන් ය. 11මේ නියමයන් දෙක ම දෙවියන් වහන්සේගේ සැලසුම් අනුව ද සියලු ජාතීන් අතර ද උන් වහන්සේ අදහස් කළ පැයෙහි දී ද, කාලයෙහි දී ද, ක්‍රියාත්මක කරන ලද්දේ ය. 12මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ තමන් සෙනඟ සිහිපත් කර තමන් උරුමයට සාධාරණකම සැලැසූ සේක. 13ඔවුන්ට අදාර් මාසයේ දස සතර වන හා පසළොස් වන දින යන මේ දවස් මින්පසු රැස්වීමේ ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට සදහට ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීතියේ හා සන්තෝෂයේ ද දවස් වන්නේ ය.”
ශ්‍රීක පරිවර්තනය පිළිබඳ සටහන්
ටොලමිගේ හා ක්ලියෝපත්‍රාගේ රාජ්‍ය කාලයේ සතර වන වර්ෂයේ දී තමා පූජකයෙකු යයි ද, ලෙවී පූජකයෙකු යයි ද කී දොසිතේයුස් ද ඔහුගේ පුත් ටොලමි ද පූරීම් පිළිබඳ මේ ලියැවිල්ල ගෙනාවෝ ය. ඔව්හු එය විශ්වාස කටයුතු බව ද එහි පරිවර්තනය ජෙරුසලමේ සභාවේ සාමාජිකයෙකු වූ ටොලමිගේ පුත් ලිසිමාකස් විසින් කරන ලද බව ද සහතික කොට කීවෝ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in