YouVersion Logo
Search Icon

කොලොස්සි 2:13-23

කොලොස්සි 2:13-23 SNRV

ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක. අණපනත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක. එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේ ය. තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති. ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය. ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්, ‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද? මනුෂ්‍යයා පැනවූ මේ නියෝග, භාවිතා කළ පසු කුණු වී යන දේ පිළිබඳ ව ය. තමන් ම මවාගත් නමස්කාර ක්‍රම නිසාත්, ව්‍යාජ නිහතමානීකම නිසාත්, ශරීරයට වද දීම නිසාත්, බැලූ බැල්මට ඒ නියෝගවල වටිනාකමක් ඇති සේ පෙනුනත් මාංසික තෘෂ්ණා මැඬලීමට ඒවායින් කිසි රුකුලක් නොලැබේ.