YouVersion Logo
Search Icon

ක්‍රියා 22:17-28

ක්‍රියා 22:17-28 SNRV

“තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි. උන් වහන්සේ මට දර්ශනය වී: ‘මා ගැන ඔබේ සාක්ෂිය ඔවුන් නොපිළිගන්නා බැවින් පමා නොවී ජෙරුසලමෙන් යන්නැ’යි මට වදාළ සේක. එකල මම කතා කොට, ‘ස්වාමීනි, මා ධර්මශාලාවලට ගොස් ඔබ අදහාගත්තවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තැළූ බව කවුරුත් දනිති. ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්‍ර බලාගත්තෙමි’යි කීවෙමි. එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය. ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ. ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය. එබැවින් සේනාධිපතියා ඔහු බලකොටුවට ගෙන යන්නට අණ කොට, කුමන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධ ව එසේ මොරගැසුවෝ දැ යි දැන ගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්නට නියම කෙළේ ය. එහෙත් කසයෙන් තැළීම සඳහා ඔවුන් ඔහු බැන්ද විට පාවුලු කතා කොට, “රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසයෙන් තළවන්නට ඔබට නීතියෙන් බලයක් තිබේ දැ”යි ළඟ සිටි ශතාධිපතියාට කී ය. ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය. එවිට සේනාධිපතියා අවුත්, “ඔබ රෝම පුරවැසියෙක් දැ”යි ඔහුගෙන් ඇසී ය. “එසේ ය”යි පාවුලු කී ය. සේනාධිපතියා, “මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද “මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 22:17-28