ක්‍රියා 15:6-21
ක්‍රියා 15:6-21 SNRV
අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ. දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය. සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක. උන් වහන්සේ, ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක. එබැවින් අපගේ පියවරුන්ට වත් අපට වත් දැරිය නොහැකි වියගසක් ශ්‍රාවකයන්ගේ කර පිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහු ද? එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු”යි කී ය. එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ. ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්, “සහෝදරයෙනි, මට සවන් දුන මැනව. දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතුරෙන් සෙනඟක් තෝරාගන්නා පිණිස මුල පටන් ම ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේ ය. දිවැසිවරුන්ගේ වචනයෙන් ද එය අනුමත වේ, ඒ මෙසේ ය: ‘මින්පසු මම හැරී අවුත්, දාවිත්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා, එහි නටබුන් තැන් ද යළිත් ගොඩනඟා, සවිමත් කරන්නෙමි. එවිට අවශේෂ මනුෂ්‍යයන් ද මාගේ නාමය දරන සියලු ජාතීන් ද, සමිඳාණන් වහන්සේ සොයන්නෝ ය. ලෝකයේ පටන්ගැන්මේ සිට ක්‍රියා කරන සමිඳාණන් වහන්සේ මේ සියල්ල වදාරන සේක.’ “එබැවින් මාගේ නිගමනය නම්; විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට, රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි. මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.





