YouVersion Logo
Search Icon

ක්‍රියා 15:1-12

ක්‍රියා 15:1-12 SNRV

ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ. එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන අපෝස්තුළුවරුන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ. මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ. ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ. එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, “චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ. අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ. දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය. සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක. උන් වහන්සේ, ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක. එබැවින් අපගේ පියවරුන්ට වත් අපට වත් දැරිය නොහැකි වියගසක් ශ්‍රාවකයන්ගේ කර පිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහු ද? එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු”යි කී ය. එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 15:1-12