YouVersion Logo
Search Icon

ක්‍රියා 13:1-23

ක්‍රියා 13:1-23 SNRV

අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය. ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු උපවාසයේ යෙදී යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත් කර යැවූ හ. මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ. සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය. ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය. ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය. එහෙත් එලිමස් මැගෝස් යන ග්‍රීක නාමයකින් ද හඳුන්වනු ලැබූ යථෝක්ත ඉන්ද්‍රජාලිකයා ඒ ඇදහිල්ලෙන් දේශාධිපතියා වළක්වන අදහසින්, ඔවුනට විරුද්ධ විය. එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා, “වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද? මෙන්න, සමිඳාණන් වහන්සේගේ උදහස නුඹ පිට ය. නුඹ අන්ධ වී කලකට ඉරු එළිය නොදක්නෙහි ය”යි කී ය. එකෙණෙහි ම ඇස් පටලයකින් ද අඳුරකින් ද ඔහුගේ ඇස් වැසිණි. ඔහු ද තමාට කනවැල අල්ලාගෙන යන්නට කෙනකු සොය සොයා ඒ මේ අත ගියේ ය. එකල දේශාධිපති තෙමේ සිදු වූ දේ දැක, සමිඳාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වී, අදහා ගත්තේ ය. පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය. ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය. ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ. එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න. මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක. උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක. උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක. එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක. “ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක. උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක. දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 13:1-23