YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 10:6-19

2 සාමුවෙල් 10:6-19 SNRV

තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ. දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය. අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ. පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා, සෙසු සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටුවන පිණිස ඔහු තමාගේ සහෝදර අබිෂයි අතට භාර දී, ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය. මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ. සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දැක, ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූ හ. එවිට ජෝවාබ් අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ජෙරුසලමට පෙරළා ආවේ ය. සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක එක්රැස් වූ හ. හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ. එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය. සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය. එවිට හදද්-එශෙර්ගේ සේවකයන් වන සියලු රජවරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක, ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන ගිවිසගෙන ඔවුන්ට සේවය කළහ. මෙසේ සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්නට බිය වූ හ.