2 රාජාවලිය 17:7-18
2 රාජාවලිය 17:7-18 SNRV
එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය. තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන, උස් වූ සියලු හෙල් පිට ද සියලු අතු පතර ඇති විශාල ගස් යට ද රූපස්තම්භ සහ අෂේරා කප් කණු පිහිටුවාගෙන, ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. ‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන, උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය. ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.





