2 වංශාවලිය 6:4-15
2 වංශාවලිය 6:4-15 SNRV
ඔහු කතා කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි. එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක. “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මාගේ පිය වූ දාවිත්ගේ සිතේ අදහසක් තිබිණි. එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න නුඹේ සිතේ අදහසක් තිබිණි. එය හොඳ දෙයකි. එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක. “සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කර තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය. එවිට සලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහාගත්තේ ය. මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක. ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.





