YouVersion Logo
Search Icon

2 වංශාවලිය 30:1-12

2 වංශාවලිය 30:1-12 SNRV

ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය. සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව, දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ. ඒ කරුණ රජුටත්, මුළු සභාවටත් සුදුසු යයි පෙනිණි. බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත් වූ නිසා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝ ය. මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත. තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ ඔබේ පියවරුන්ටත්, සහෝදරයන්ටත් සමාන නොවන්න. ඔබට පෙනෙන හැටියට උන් වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවා දුන් සේක. ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය. මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ. එසේ වුවත්, ආෂෙර්හි ද මනස්සේහි ද සාබුලොන්හි ද සමහරු අවනත වී ජෙරුසලමට ආවෝ ය. සමිඳාණන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පිළිපදින පිණිස ජුදාවරුන් එක් සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිට ද වූයේ ය.

Video for 2 වංශාවලිය 30:1-12