2 වංශාවලිය 18:28-34
2 වංශාවලිය 18:28-34 SNRV
මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට විරුද්ධ ව සටනට ගියෝ ය. ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් මාරු කරගෙන යුද්ධයට යන්නෙමි. එහෙත්, ඔබ ඔබේ වස්ත්‍ර හැඳගත මැනව”යි කීවේ ය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරු කරගත් පසු ඔව්හු සටනට ගියෝ ය. සිරියාවේ රජ තමාගේ රථාධිපතීන්ට කතා කරමින්, “ඉශ්රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැ”යි අණකර තිබුණේ ය. රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක. ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳයාමෙන් ආපසු හැරුණෝ ය. එහෙත්, එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා, නොදැන ම ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රථාචාර්යාට කතා කොට, ඔබ ආපසු හැරී, සේනාවෙන් පිටතට මා ගෙන යන්න. මන්ද, මට හොඳට ම තුවාළ ය”යි කීවේ ය. ඒ දවස ගත වීමත් සමඟ යුද්ධය තදබල විය. එසේ වී නමුත්, ඉශ්රායෙල් රජ සවස වන තුරු සිරියන්වරුන්ට ඉදිරියෙන් ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබූ පසු, ඉර බසින වේලාව පමණේ දී මළේ ය.




