YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 13:1-15

1 සාමුවෙල් 13:1-15 SNRV

සාවුල් රජකමට පැමිණි විට වයස අවුරුදු තිහක් පමණ විය. ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය. සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය. ජොනතන් ගෙබායෙහි සිටි පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන්නේ ය. එපවත් පිලිස්තිවරුන්ට ආරංචි විය. එවිට සාවුල් කතා කොට, හෙබ්‍රෙව්වරු අසත් වා”යි දේශය මුළුල්ලෙහි හොරණෑ පිඹින්නට සැලැස්සුවේ ය. සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය. පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය. එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය. සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය. සාමුවෙල් නියම කළ පරිදි ඔහු එන තුරු සාවුල් සත් දවසක් බලා සිටියේ ය. එහෙත්, සාමුවෙල් ගිල්ගාල්ට නොපැමිණියේ ය. සෙනඟ ද ඔහු වෙතින් විසිර ගියෝ ය. එබැවින් සාවුල් ඔවුන් අමතා, “දවන යාග පූජාව හා සහභාගිකමේ පූජා මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. සාවුල් දවන යාග පූජා ඔප්පු කෙළේ ය. ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය. සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි. ගිල්ගාල්හි දී පිලිස්තිවරුන් මට පහර දෙන්නට යන නමුත් දෙවියන් වහන්සේගේ හිත දිනාගැනීමට මා උත්සාහ නොකළා යයි මම සිතුවෙමි. ඒ නිසා පූජාව ඔප්පු කළ යුතු බව මට හැඟුණේ ය”යි කීවේ ය. එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීයේ ය: “ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කෙළේ නැත. ඔබ ඒවා රක්ෂා කෙළෙහි නම්, සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ඉශ්රායෙල් කෙරෙහි සදහට ම රජකම් කරන්නට සලස්වන සේක. එහෙත්, දැන් ඔබේ රජකම පවතින්නේ නැත. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ දේ ඔබ රක්ෂා නොකළ බැවින් උන් වහන්සේ තමන්ගේ සිතට එකඟ වන මිනිසෙකු තෝරාගෙන තමන්ගේ සෙනඟ කෙරෙහි ඔහු නායකයා වන පිණිස නියම කර ඇතැ”යි කීවේ ය. සාමුවෙල් පිටත් වී ගිල්ගාලෙන් බෙන්ජමින්ගේ පෙදෙසේ ගිබියාට ගියේ ය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කෙළේ ය. ඔව්හු හයසියයක් පමණ වූ හ.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 13:1-15