1 රාජාවලිය 11:1-12
1 රාජාවලිය 11:1-12 SNRV
සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය. ‘සැබැවින් ම ඔවුන් නුඹලාගේ සිත් ඔවුන්ගේ දෙවිවරුන් වෙත හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතු ය; ඔවුන්ට නුඹලා අතරට එන්නට ඉඩ නොදිය යුතු ය’යි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට යම් යම් ජාතීන් ගැන වදාළ සේක් ද, ඒ ඒ ජාතීන්ට සලමොන් රජ ස්නේහයෙන් ඇළුම් වූයේ ය. ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවූ හ. එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය. මන්ද, සලමොන් සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල සහිත මිල්කොම් අනුව ගොස්, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු තමාගේ පිය දාවිත් මෙන් සමිඳාණන් වහන්සේ අනුව මුළු සිතින් ගමන් කෙළේ නැත. එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය. තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් සහ පූජා ඔප්පු කළ තමාගේ සියලු විජාතික භාර්යාවන්ටත් ඔහු එසේ ම සාදා දුන්නේ ය. මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක. අන් දෙවිවරුන් පසුපස නොයන ලෙස තමාට අණ කළ සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ දේට ඔහු කීකරු වූයේ නැත. එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි. එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.

![[Song of Songs] Like Magnets 1 රාජාවලිය 11:1-12 Sinhala New Revised Version 2018](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F35523%2F1440x810.jpg&w=3840&q=75)



