සෙකරියා 1:1-6
සෙකරියා 1:1-6 NRSV
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ. සියලු බලැති සමිඳාණන් වහන්සේ සෙකරියාට කතා කොට සෙනඟට මෙසේ ප්‍රකාශ කරන ලෙස වදාළ සේක: “ස්වාමීන් වන මම, නුඹලාගේ මුතුන්මිත්තන් ගැන ඉතා අප්‍රසන්න වීමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි කියන්න. ‘මා වෙත හැරී එන්න. මම ද නුඹලා වෙත හැරී එන්නෙමි. නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත. නුඹලාගේ මුතුන්මිත්තෝ දැන් කොහේ ද? ඒ දිවැසිවරු සදාකාලයට ම සිටිත් ද? ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.





