YouVersion Logo
Search Icon

රෝම 9:14-24

රෝම 9:14-24 NRSV

එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත. මන්ද, “මම දයාව දක්වන්නට කැමැති අයට දයාව දක්වන්නෙමි; අනුකම්පාව දක්වන්නට කැමැති අයට අනුකම්පාව දක්වන්නෙමි”යි උන් වහන්සේ මෝසෙස්ට වදාළ සේක. එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය. මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක. උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව සිටීමට කිසිවෙකුට නොහැකි නම්, “උන් වහන්සේ තවමත් මිනිසාට දොස් නඟන්නේ මන්දැ”යි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද? එක මැටි පිඩකින් එක බඳුනක් ඉස්තරම් ලෙසත්, අනෙක සාමාන්‍ය භාවිතය පිණිසත් තැනීමට කුම්භකාරයාට බලයක් නැද් ද? දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක. තවද, උන් වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ, ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක.