YouVersion Logo
Search Icon

රෝම 4:1-8

රෝම 4:1-8 NRSV

එසේ නම්, අපේ ජාතියේ පියා වූ ආබ්‍රහම් ගැන අපි කුමක් කියමු ද? ඔහු දමිටු බවට පමුණුවනු ලැබුවේ කෙසේ ද? ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත. ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය; ඒ ඇදහිල්ල නිසා ඔහු දමිටු කෙනෙකු බව උන් වහන්සේ පිළිගත් සේක.” යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව, ඔහුට ගෙවිය යුත්තක් හැටියට සලකනු ලැබේ. එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිටු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා, ඔහුගේ ඇදහිල්ල නිසා දමිටු ලෙස පිළිගනු ලැබේ. ඒ හැටියට, කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි: “තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය. සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”