YouVersion Logo
Search Icon

එළිදරව්ව 16

16
වසංගත සත වැගිරවීම
1“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.
2 # නික්ම 9:10 එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.
3දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය.
4 # නික්ම 7:17-21; ගීතා 78:44 තෙවැන්නා තමාගේ පාත්‍රය ගංගා සහ දිය උල්පත් පිට වැගිරෙව්වේ ය. එවිට ඒවා ලේ විය. 5ජලය භාර ව සිටි දේව දූතයා කතා කොට, “වැඩ සිටින, වැඩ සිටිය, සුවිශුද්ධ තැනැන් වහන්ස, ඔබ දුන් විනිශ්චයන්හි ඔබ සාධාරණ ය. 6ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි. 7“එසේ ය, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරැදි ය, සාධාරණ ය”යි පූජාසනයෙන් කියනු මට ඇසිණි.
8එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ ය. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ ය. 9මනුෂ්‍යයෝ අධික උෂ්ණයකින් දවනු ලැබ, මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස, උන් වහන්සේට ගෞරවය දෙන පිණිස පසුතැවී සිත් හරවා නොගත් හ.
10 # නික්ම 10:21 පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ ය. ඔහුගේ රාජ්‍යය අඳුරින් වැසී ගියේ ය. ඔව්හු වේදනා නිසා දිව් විකාගත්හ. 11ඔව්හු තමන්ගේ තුවාළ හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස, තමන්ගේ ක්‍රියා ගැන පසුතැවී සිත් හරවා නොගත් හ.
12 # යෙසා 11:15 සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය. 13එකල මකරාගේ කටින් ද, මෘගයාගේ කටින් ද, බොරු දිවැසිවරයාගේ කටින් ද මැඩියන් වැනි අශුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්ම එනු මම දිටිමි. 14ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
15 # මතෙ 24:43-44; ලූක් 12:39-40; එළිද 3:3 “මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
16 # 2 රාජා 23:29; සෙකරි 12:11 මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.
17සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි. 18#එළිද 8:5; 11:13,19 විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය. 19#යෙසා 51:17 ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක. 20#එළිද 6:14 සියලු දිවයින් අතුරුදහන් විය. කඳු නොපෙනී ගියේ ය. 21#නික්ම 9:23; එළිද 11:19 අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in