YouVersion Logo
Search Icon

ගීතාවලිය 41:1-13

ගීතාවලිය 41:1-13 NRSV

දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක. සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක. ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක. “සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි. “ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති. මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති. මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති. “අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති. මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය. මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව. ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි. මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක. ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 41:1-13